EGL වෙත ඉන්ධන සහන මිලට ලබාදීමට තීරණයක් – මිල රු. 25කින් අඩුයි
විදුලි උත්පාදන ලංකා (EGL) පෞද්ගලික සමාගම වෙත දැනට පවතින වෙළඳපොළ මිලට වඩා රුපියල් 25කින් අඩු සහනදායී මිලකට විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
අමාත්‍යවරයා ඊයේ (10) පුවත්පතකට අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ, මෙම ක්‍රමවේදය මීට පෙරද ක්‍රියාත්මක වූ එකක් බවයි. EGL සමාගම වෙත සහනදායී පදනමක් යටතේ ඉන්ධන සැපයීම සඳහා එම යාන්ත්‍රණය යළි ක්‍රියාත්මක කර ඇති බවද ඔහු සඳහන් කර තිබේ.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දැනට පවතින මිලට වඩා රුපියල් 25කින් අඩු මිලකට ඉන්ධන ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
මේ අතර, විදුලි පාරිභෝගිකයින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව ධම්මික මහතා පවසන්නේ, නවතම විදුලි ගාස්තු සංශෝධනයට අදාළ කොන්දේසියක් ලෙස EGL සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ ඉන්ධන මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹිය යුතු බවයි.
එම ගිවිසුම සම්පූර්ණ කිරීම සඳහා EGL සමාගමට ලබාදී තිබූ කාලය දැනටමත් අවසන් වී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව තහවුරු කර ඇති බවද ඔහු සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, EGL සමාගම සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අතර ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බව මීට පෙර වාර්තා වී තිබුණි.
විශේෂයෙන්ම ඉන්ධන මිලට ඇතුළත් කර ඇති ‘බෙදාහැරීමේ නිලධාරීන්ගේ කොමිස් මුදල’ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර මතභේදාත්මක තත්ත්වයක් පැවති බවද වාර්තා වේ.
✅✅✅✅✅✅✅✅✅✅✅✅
