"මයෙ ප්‍රාණසම සදාදරී... තුරුණු සරාගී බිරින්දෑවනි": මාධවී ඇන්තනීගේ උපන් දිනයට කසුන්ගෙන් සාහිත්‍යමය ආදර පත්‍රයක්
අපගේ අමරණීය රංගධර ජැක්සන් ඇන්තනීගේ එකම දියණිය, දක්ෂ රංගන ශිල්පිනී මාධවී ඇන්තනී අද (06) වන දින සිය උපන් දිනය සමරයි. ඇගේ සුන්දර ජීවිතය ආදරණීය සැමියා කසුන් (මහේන්ද්‍ර හීනටිගල) සහ පුතු සමඟ ගත කරන ඇයට, සැමියා විසින් මෙවර ලබා දී ඇති උපන්දින සුබ පැතුම කෙතරම් අපූරුද යත්, එය මේ වන විට සමාජ මාධ්‍ය පුරා කතාබහට ලක්ව තිබේ.
එය හුදු "සුභ උපන්දිනයක්" පැතුමක් නොව, සිංහල සාහිත්‍යයේ සුන්දරත්වය, බයිබලීය දර්ශනය සහ ඔවුන්ගේ පෞද්ගලික ප්‍රේම කතාව මුසු කළ අතිශය රමණීය ප්‍රේම පත්‍රයකි.
මොකක්ද මේ අපූරු සටහන?
කසුන් සිය මුහුණුපත (Facebook) ගිණුම ඔස්සේ පළ කර ඇති මෙම සටහන, පාඨකයා තුළ දැඩි හැඟීම්බර බවක් ඇති කරවන සුළුය. ඔහු සිය ප්‍රේමයේ ආරම්භය සිහිපත් කරන්නේ මෙලෙසිනි.
"අප මුල්වරට හමුවූයේ අතුලයියා ගැයූ ආකාරයට 'මේ චණ්ඩ සූර්‍ය නගරේ දුහුවිලි සරනා' අතරතුරේ ය. Saman මාමා ලියූ විලසට මැ 'සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා' සුරන් ලිය වෙමින් පෙමින් සෙමින් සෙමින් මසිතේ ගතේ වතේ නෙතේ නුඹ මැ පැලපදියං වෙච්චි."
එතැන් සිට තම ප්‍රේමය බයිබලයේ කොරින්ති පොතේ සඳහන් "ප්‍රේමය ඉවසිලිවන්තය, කරුණාවන්තය" යන ඉගැන්වීම් මෙන්ම මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ "නැත ලොවේ අන් රසඳුනා - ආදරේ සේ සුවදෙනා" යන කවි පදවලින් වර්ණනා කර තිබුණි.
"කෛලාෂ් පුත්‍රයා" සහ අම්මා කෙනෙකුගේ උත්තරීතරත්වය
තම දිවියේ ආලෝකය වන පුත්‍රයාගේ උපත ද ඔහු අපූරු උපමාවකින් සටහන් කර තිබුණි.
"අපේ සරණ මංගල්ලයෙන් පසු මහද මහමේරුව සරි බෝ පිනැති 'කෛලාෂ් පුත්‍රයා' නුඹේ මව්කුසින් මෙලෝ උප්පත්තිය ලද්දේ. නුඹ තුන් ලෝ අසමසම 'අම්මා' වූයේ."
අවසානයේ, සිය බිරිඳගේ වයස හුදු ඉලක්කමක් පමණක් බවත්, ඇය තමාට සදාකාලිකවම තරුණ සහ සුන්දර බවත් පවසමින් ඔහු සිය ආදරණීය සටහන අවසන් කර තිබුණි.
"වයස යනු ඉලක්කමක් පමණක් ම බැව් දිනපතා මට සපථ කරනා මයෙ අතිශය තුරුණු සරාගී බිරින්දෑවනි ඉදින් සුබ උපන් දවසක් වේවා!"
