මාර්ග අනතුරුවලින් සිදුවන මරණ අතරින් වැඩිම ප්‍රමාණයක් යතුරුපැදි සම්බන්ධ අනතුරුවලින් සිදුවන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.
එහි සභාපති මංජුල කුලරත්න මහතා මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
ඔහු පෙන්වා දෙන්නේ යතුරුපැදිකරුවන් සඳහා නිසි ප්‍රමිතියෙන් යුත් ආරක්ෂිත හිස්වැස්මක් භාවිත කිරීම මාර්ග අනතුරකදී සිදුවිය හැකි හානිය අවම කර ගැනීමට වැදගත් වන බවයි.
මාස 7කදී අනතුරු 1,626ක්
මේ අතර ජනවාරි 01 වැනිදා සිට ජූලි 31 වැනිදා දක්වා කාලය තුළ යතුරුපැදි සම්බන්ධ අනතුරු ඇතුළු මාර්ග අනතුරු 1,626ක් වාර්තා වී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පැවසීය.
එම සංඛ්‍යාව 2025 වසරේ අදාළ කාලසීමාවේදී වාර්තා වූ අනතුරු 1,585ට වඩා වැඩි අගයක් බවද ඔහු සඳහන් කළේය.
මෙම වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ යතුරුපැදිකරුවන් 749 දෙනෙකු මියගොස් ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පෙන්වා දුන්නේය.
ආරක්ෂිත හිස්වැසුම ගැන අවධානය
යතුරුපැදි සහ පසුපැදි ධාවකයන් නිරන්තරයෙන් ආරක්ෂිත හිස්වැසුම් පැළඳීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණි.
තමන්ගේ ජීවිතය මෙන්ම මාර්ගයේ ගමන් කරන අනෙකුත් පුද්ගලයන්ගේ ආරක්ෂාව පිළිබඳවද අවධානය යොමු කරමින් ආරක්ෂිතව රිය ධාවනය කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටින බව මනෝජ් රණගල මහතා පැවසීය.
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කළේ වසරකට මෙරට මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 2,500ත් 2,700ත් අතර ප්‍රමාණයක් සිදුවන බවත්, ඉන් ආසන්න වශයෙන් 1,000ක් පමණ යතුරුපැදි සම්බන්ධ මරණ බවත්ය.
හිසට සිදුවන තුවාල පිළිබඳ අවධානය
යතුරුපැදි අනතුරුවලදී හිසට සිදුවන බරපතළ තුවාල මරණයට හේතුවක් විය හැකි බැවින් ආරක්ෂිත හිස්වැසුමක් පැළඳීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බව මංජුල කුලරත්න මහතා පෙන්වා දුන්නේය.
ඒ අනුව යතුරුපැදිකරුවන් අතර ආරක්ෂිත හිස්වැසුම් භාවිතය ඉහළ නැංවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙළ යටතේ ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය, පාරිභෝගික සේවා අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව දිවයින පුරා ආවරණය වන පරිදි වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටින බවද සඳහන් විය.
SLS ලාංඡනය පිළිබඳ අවධාරණයක්
යතුරුපැදිකරුවන් භාවිත කරන ආරක්ෂිත හිස්වැසුම් සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධාරණයක් සිදු කෙරිණි.
මංජුල කුලරත්න මහතා සඳහන් කළේ ආරක්ෂිත හිස්වැසුමක් ලෙස භාවිත කළ යුත්තේ SLS ලාංඡනය සහිත හිස්වැසුමක් බවයි.
මාර්ග අනතුරු හේතුවෙන් සිදුවන ජීවිත හානි අවම කර ගැනීම සඳහා රියදුරන් මාර්ග නීති පිළිපදිමින් ආරක්ෂිතව රිය ධාවනය කිරීමත්, යතුරුපැදිකරුවන් නිසි ආරක්ෂිත හිස්වැසුම් භාවිත කිරීමත් ඉතා වැදගත් බව බලධාරීන් අවධාරණය කර තිබේ.
✅✅✅✅✅✅✅✅✅✅✅✅
