සහන සුසුමක්: නේෂන් ලංකා ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට හෙට සිට රුපියල් මිලියන 1.1ක් දක්වා වන්දි ගෙවීම ඇරඹේ
නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී (Nation Lanka Finance PLC) ආයතනයේ බලපත්‍රය අවලංගු කිරීමෙන් පසුව, සිය ඉතුරුම් අහිමි වේ යැයි බියෙන් පසු වූ රක්ෂිත තැන්පත්කරුවන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හෙට (අගෝස්තු 01) සිට වන්දි ගෙවීම ආරම්භ කිරීමට නියමිතය.
මෙම වන්දි ගෙවීම්, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ සිදු කෙරෙන අතර, ඒ සඳහා මහජන බැංකුවේ (People's Bank) තෝරාගත් ශාඛා භාවිත කිරීමට නියමිතය.
කොපමණ මුදලක් හිමි වේද?
මහ බැංකුව සඳහන් කරන්නේ, සුදුසුකම් ලබන තැන්පත්කරුවන්ට ඔවුන්ගේ රක්ෂිත තැන්පතුවල සමස්ත වටිනාකම අනුව උපරිම වශයෙන් රුපියල් මිලියන 1.1ක් (රු. 1,100,000) දක්වා වන්දි මුදලක් හිමි වන බවයි.
අදාළ වන්දි මුදල් පහත ක්‍රම ඔස්සේ ලබා දීමට නියමිතය.
· දැනට පවත්වාගෙන යනු ලබන මහජන බැංකු ගිණුම් වෙත බැර කිරීම.
· අලුතින් විවෘත කරනු ලබන ගිණුම් ඔස්සේ බැර කිරීම.
· බැංකු කවුන්ටරයෙන් සෘජු මුදල් ගෙවීම.
හිමිකම් පෑමේ අවසන් දිනය සහ ක්‍රියා පටිපාටිය
මෙම ආයතනයේ මූල්‍ය ව්‍යාපාර බලපත්‍රය 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත යටතේ පසුගිය ජූලි 3 වැනිදා අවලංගු කෙරිණි. රක්ෂිත තැන්පත්කරුවන්ට සහ නීත්‍යානුකූල හිමිකරුවන්ට 2032 ජූලි 2 වැනිදා දක්වා වන්දි ඉල්ලීම් ඉදිරිපත් කිරීමට කාලය ලබා දී ඇත.
වන්දි ඉල්ලීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය:
· කුඩා තැන්පත්කරුවන් (රු. 5,000ට අඩු): මහජන බැංකු ගිණුමක් ඇත්නම්, සම්පූර්ණ කළ ඉල්ලුම්පත් සහ ලේඛන විද්‍යුත් ක්‍රමයෙන් ඉදිරිපත් කළ යුතුය.
· අනෙකුත් තැන්පත්කරුවන්: නියමිත ඉල්ලුම්පත් සමඟ මුල් තැන්පතු සහතික, ජාතික හැඳුනුම්පත වැනි අනන්‍යතා ලේඛන සමඟ මහජන බැංකුවේ නම් කරන ලද ශාඛා වෙත පැමිණිය යුතුය.
· ඒකාබද්ධ ගිණුම් හිමියන්: දෙදෙනාම වෙන වෙනම වන්දි ඉල්ලුම්පත් ඉදිරිපත් කළ යුතුය.
· පෞද්ගලිකව පැමිණිය නොහැකි අය: නීත්‍යානුකූල ඇටෝර්නි බලපත්‍රයක් (Power of Attorney) මඟින් නියෝජිතයෙකුට ඉල්ලීම් කළ හැක.
ඉල්ලුම්පත් සහ වැඩිදුර උපදෙස් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියෙන් මෙන්ම මහජන බැංකුවේ නම් කරන ලද ශාඛාවලින් ද ලබා ගත හැක.

0 Comments