උග්‍ර වන එල් නිනෝ අර්බුදය: මොණරාගල සහ හම්බන්තොටට දැඩි ජල හිඟයක්, නත්තලට මාළු හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්
එල් නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් මොණරාගල සහ හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක සැලකිය යුතු ජල හිඟයක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
අද (31) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් එහි අධ්‍යක්ෂ එල්.එස් සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, වියළි කලාපයේ ප්‍රධාන ගංගාවල ජල මට්ටම් ඉතා පහළ අගයක් ගන්නා බවයි. මෙම බරපතල තත්ත්වය හමුවේ, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා පැවසුවේ, දැනට රට පුරා ඇති සියලුම ජල පිරිපහදු මධ්‍යස්ථාන උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වන බවයි. අමතර ජල අවශ්‍යතා සපුරා ගැනීම සඳහා භූගත ජලය ලබා ගැනීමේ නළ ලිං ව්‍යාපෘතියක් ද මේ වන විට ක්‍රියාත්මක කර ඇත.
81%ක සුපිරි එල් නිනෝ අවදානමක් සහ මාළු හිඟයක්
මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා වඩාත් බරපතල අනතුරු ඇඟවීමක් කළේය. ඔහු පැවසුවේ මෙම වසර අවසානය වන විට අති ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් ඇති වීමේ සම්භාවිතාව 81%ක් වන බවයි. මුහුදේ ඇති විය හැකි අධික පීඩන තත්ත්වය හේතුවෙන්, එළඹෙන නත්තල් සමය තුළදී දිවයිනේ මත්ස්‍ය හිඟයක් ඇති විය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය.
රජයට එරෙහි ගොවි චෝදනා
ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා ඉදිරි කාලය සඳහා ජල කළමනාකරණ සැලසුම් සකස් කර ඇති බව පැවසුවද, ගොවි සංවිධාන චෝදනා කරන්නේ එල් නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා රජයට කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙලක් නොමැති බවයි.
මුහුදු රළු අවවාදය සහ ආපදා සූදානම
මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට නිකුත් කළ අනතුරු ඇඟවීම තවදුරටත් වලංගු වේ. කන්කසන්තුරය සිට කල්පිටිය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ ගොස් මුහුද ඉතා රළු විය හැකි බැවින්, නැවත දැනුම් දෙන තුරු එම මුහුදු ප්‍රදේශවලට යාත්‍රා නොකරන ලෙස දැනුම් දී ඇත.
ආපදා පූර්ව සූදානම වෙනුවෙන්, ජපන් ප්‍රදාන ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන ඩොප්ලර් කාලගුණ රේඩාර් ජාල ව්‍යාපෘතියේ ප්‍රගතිය ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා විසින් සොයා බැලීය. ඒ අනුව, රේඩාර් පද්ධතිය සවි කිරීම ලබන වසරේ ජනවාරි මාසයේ ආරම්භ කිරීමට නියමිත අතර, සමස්ත ව්‍යාපෘතිය 2027 ජූලි මස අග වන විට අවසන් කිරීමට නියමිතය.
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න

0 Comments