නියඟයෙන් පසු හදිසි අවදානමක්: පැය 36ක් තුළ පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ගැන කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
එල් නිනෝ නියඟය පිළිබඳ අනතුරු ඇඟවීම් මධ්‍යයේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි හදිසි තද වැසි සහ සුළං අනතුරු ඇඟවීමේ නිවේදනයක් අද (31) සවස 4.00ට නිකුත් කර තිබේ.
මෙම නිවේදනයට අනුව, දිවයිනේ ප්‍රධාන පළාත් කිහිපයකට ඉතා තද වැසි ඇති විය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ අධික වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් පවතී. නාය යෑම් සහ පහත්බිම් ගංවතුර අවදානම් ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳව අතිශයින් සුපරීක්ෂාකාරී විය යුතුය.
තද වැසි අපේක්ෂිත ප්‍රදේශ
ඉදිරි පැය 36 කාලය තුළ පහත සඳහන් ප්‍රදේශවලට විටින් විට තද වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
· බස්නාහිර පළාත
· සබරගමුව පළාත
· වයඹ පළාත
· මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැක.
මීට අමතරව, මාතලේ, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
තද සුළං අවවාදය
මීට අමතරව, පහත සඳහන් පළාත් සහ දිස්ත්‍රික්කවලට විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයෙන් තද සුළං ඇතිවිය හැක.
· පළාත්: උතුරු, උතුරු-මැද, මධ්‍යම, වයඹ, සබරගමුව
· දිස්ත්‍රික්ක: මොණරාගල, හම්බන්තොට, ත්‍රිකුණාමලය
තද සුළං සමඟ ඇති වන අධික වැසි හේතුවෙන් ගස් කඩා වැටීම් සහ විදුලි රැහැන් බිඳ වැටීම් වැනි අනතුරු සිදු විය හැකි බැවින්, මහජනතාව අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ බලධාරීන් ඉල්ලා සිටී.
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න

0 Comments